ටයි මහත්තයා නෙත් පියා ගනියි

දිවයින (17/10/2011)

නාරද නිශ්ශංක

“චණ්‌ඩියා”, හාරලක්‌සය, “හඳයා”, “මරුවා සමඟ වාසේ” වැනි විචාරක හා ප්‍රේක්‍ෂක ප්‍රසාදය ලද චිත්‍රපට අධ්‍යක්‍ෂණය කළා වූද, ශ්‍රී ලාංකික සිනමාවේත්, රූපවාහිනි මාධ්‍යයේත් ප්‍රගමනයට තම ජීවිතයේ අසමසමවූ ප්‍රතිභාව මුසුකළා වූද ප්‍රතිසම්පන්න කලාකරු කලා සූරී ටයිටස්‌ තොටවත්තයෝ පෙරේදා (15 දා) සදහටම ජීවිතයෙන් සමුගත්හ.

“ටයි මහත්තයා” නැතහොත් “ටයි අන්කල්” යන ආදර ගෞරව නාමයෙන් අප අතර ජීවත්වූ තොටවත්තයන් 1929 අප්‍රේල් 17 වැනිදා කොළඹ බොරැල්ලේදී ජන්ම ලාභය ලැබුවේ පස්‌ දෙනකුගෙන් යුත් පවුලක බාලයා ලෙසිනි.

කොළඹ ආනන්ද මහ විදුහලින් අධ්‍යාපනය ලද ටයිටස්‌ තොටවත්තයන් හේවුඩ් ආයතනයෙන් ඡේ. ඩී. ඒ. පෙරේරා හා ස්‌ටැන්ලි අබේසිංහ වෙතින් චිත්‍ර හා මූර්ති කලාවද ශේෂා, පලිහක්‌කාර හා ෂුකේන්ද්‍ර දත් සමඟ නැටුම් කලාවද සුනිල් ශාන්ත හා ආනන්ද සමරකෝන් යන කලාකරුවන් වෙතින් සංගීතය ද හැදැරුවෙකි.

1952 රජයේ චිත්‍රපට ආයතනය පිහිටවූ පසු වාර්තා චිත්‍රපට නිෂ්පාදනය කිරීමට සම්බන්ධ වූ හෙතෙම රැල්ප් කින් යටතේ වාර්තා චිත්‍රපට කරණය හැදැරීය. එදා ඔහු සමඟ චිත්‍රපට අංශයට සේවයට එක්‌ව සිටි සමකාලීනයන් වූ ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌, විලීs බ්ලේක්‌ සමග “රේඛාව” චිත්‍රපටය නිර්මාණය කිරීමට සම්බන්ධ විය. කැමරාකරණය, සංස්‌කරණය, චිත්‍රපට නිෂ්පාදන තාක්‍ෂණය පිළිබඳව ද හදාළ ඔහු රේඛාව, සංදේශය, ගම්පෙරලිය, රන්මුතු දූව, ධීවරයෝ, බඩුත් එක්‌ක හොරු, ගැටවරයෝ, සාරවිට, සොරුන්ගෙත් සොරු, පුංචි බබා, පරසතු මල්, සැනසුම කොතැනද, ඔබ දුටුදා, හන්තානේ කතාව, ඇතුලු චිත්‍රපට විශාල ප්‍රමාණයක සංස්‌කාරක ශිල්පියා ලෙසද දායක වී ජනාධිපති සම්මාන සරසවි සම්මානය, රණ තිසර සම්මානය, විචාරක සම්මාන, ඕ. සී. අයි. සී. සම්මාන, විශ්ව ප්‍රසාදිනි සම්මානය, යූ. ඩබ්ලිව්. සුමතිපාල අනුස්‌මරණ සම්මානය උපන් ගමෙන් පිදුණ ප්‍රඥ ප්‍රදීප හා නළුනිළි සංගමයේ ගෞරව සම්මානයෙන්ද පිදුම් ලැබූ සුවිශේෂී කලාකරුවෙකි.

1990 එවක ජනාධිපතිවරයාව සිටි රණසිංහ ප්‍රේමදාස මහතා විසින් කලාසූරී සම්මානයද තොටවත්තයන්ට ප්‍රදානය කෙරිණි.

චණ්‌ඩියා, කවුද හරි, තෙවත, හාර ලක්‍ෂය, සිහසුන, සාගරිකා, මංගලා, මරුවා සමඟ වාසේ, හඳයා, නාන්ගු ලෙච්චමී, (හාර ලක්‍ෂය චිත්‍රපයට දෙබස්‌ කැවූ) චිත්‍රපට හෙතෙම අධ්‍යක්‍ෂණය කළේය.

තවද ටයිටස්‌ තොටවත්තයන් ගේ සෑම සිනමා කෘතියක්‌ම නිර්මාණය වූයේද ඔහුගේ තිර රචනා පදනම්කරගෙනය. ඒවායේ සංස්‌කරණයද ඔහු අතින්ම සිදුවිය. ඔහු සංස්‌කරණය කළ චිත්‍රපට දේශීය සිනමාවේ සන්ධිස්‌ථානයන් බවට ඉතිහාසයට එක්‌විය.

මෙරට රූපවාහිනි මාධ්‍යය ඇරඹීමෙන් පසු 1982 ජාතික රූපවාහිනි සංස්‌ථාවට එක්‌වූ තොටවත්තයෝ ටෙලිනාට්‍ය, වාර්තා, සම්මුඛ සාකච්ඡා ආදී තවත් බොහෝ දේ නිර්මාණය කිරීමට දායක වූහ. රූපවාහිනි හඬ කැවීම් හා උප ශීර්ෂ සේවාවේ උපදේශක, අධීක්‍ෂක, අධ්‍යක්‍ෂ හා චිත්‍රපට ප්‍රධානි ලෙස කටයුතු කළ ඔහු කාටුන් වැඩසටහන් සිංහලට හඬකැවීමේ පුරෝගාමියා ලෙස ඉතිහාසයට එක්‌විය.a ළමා මනස හොඳින්ම වටහා ගත් නිර්මාණකරුවකු වූ එතුමන් අහල පහළ, දොස්‌තර හොඳහිත, හා හා හරි හාවා වැනි කාටූන් ද රොබින්හුඩ්, කුංµq ආදී උපසිරැසි යෙදූ වැඩසටහන්ද විශාල ප්‍රමාණයක්‌ හඳුන්වා දුන් අතර එම ක්‍ෂේත්‍රයේ කටයුතු කිරීමට අතුල රංසිරිලාල් (රූපවාහිනි හඬකැවීම් ඒකකයේ ප්‍රධානී) ඇතුළු ප්‍රතිභාසම්පන්න මතු පරපුරක්‌ දක්‍ෂ රංගන ශිල්පීන් සමූහයක්‌ද බිහිකිරීමට තම ජීවිතය කැප කළ උතුම් මිනිසෙකි.

1958 දී සුජාතා තොටවත්තයන් (ඇයද තොටවත්තයන් සමග චිත්‍රපට විශාල ප්‍රමාණයක සංස්‌කාරක ශිල්පිණියක ලෙස කටයුතු කර ඇත.) සමඟ විවාහ දිවියට එක්‌වූ ඔවුන්ගේ එකම පුතණුවන් වනුයේ දමිත් තොටවත්ත මහතාය. කුමාරතුංග මුණිදාසයන්ට බෙහෙවින් ගරුකළ අනුගාමිකයකු වූ එතුමන් කුමාරතුඟුවන්ගේ අලුත් අලුත් දැ නොතනන ජාතිය ලොව නොනගී යන වදනේ පිහිටා කටයුතු කළ වියතෙකි.

ඒ මහතාගේ දේහය රාජගිරිය, නාවුල පාරේ අංක 292/6 පිහිටි නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු බදාදා සවස 4.00 ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.

Advertisements

Comments are closed.

%d bloggers like this: