ලේ ඥාති ‘විවාහ’ ප්‍රතික්‍ෂේප කරන පෙන්ගුවින්ලා….

පෙන්ගුවින් යනු අමුතු කුරුල්ලෙකි. ඒ පියාඹන්නට බැරිවීම නිසාම නොවේ. සමහරක්‌ දේ ගැන ඔවුන් තුළ සහජයෙන්ම පිහිටා ඇති ගතිගුණ නිසාය. මේ සතුන් තුළ මනා පවුල් කෑමක්‌ ඇත. පෙන්ගුවින්ලා අනිත් බොහොමයක්‌ තිරිසන් සතුන් මෙන් සෘතුවෙන් සෘතුවට හෝ අවස්‌ථාවෙන් අවස්‌ථාවට තම සහකරු හෝ සහකාරිය වෙනස්‌ කරන්නේ නැත. මේ සතකු තම සහකරු තෝරාගන්නේ ජීවිත කාලයටමය. මේ සතුන් සිය දහස්‌ ගණනක්‌ වෙසෙන කොළණියක මේ සතකු හරියටම තමන්ගේ සහකරු හෝ සහකාරිය හඳුනා වෙන්කරගන්නේ කෙසේද යන්න ගැටළුවක්‌ විය. එහෙත් විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇති අලුත්ම තොරතුරු වලට අනුව ඔවුන්ගේ හැඳුනුම්පත යනු ආවේනික ගන්ධයකි. පිරිස අතරින් පෙන්ගුවින් ‘තමන්ගේ කෙනා’ හඳුනාගන්නේ එම ගන්ධය ඉවකිරීමෙන්ය.
කුරුල්ලන් ඉවෙන් හෙවත් ගන්ධය හඳුනාගැනීම මගින් බොහෝ ප්‍රයෝජන ගන්නා බව විද්‍යාඥයන් දැන සිටි කරුණකි. ආහාර සොයාගැනීම සහ ඈතක සිට තම කූඩුව ඇති තැන හෙවත් නවාතැනට යැම උන් සිදුකරනුයේ මේ ඉවෙන් බව කියෑවුණි.

එහෙත් පෙන්ගුවින්ලා ගැන කරන ලද නවතම පර්යේෂණ වලට අනුව සෙසු කිසිදු පක්‍ෂියකු නොගන්නා ප්‍රයෝජනයක්‌ ඉවෙන් හෙවත් ගන්ධය සංවේදනය කිරීමෙන් ලබාගැනීමට පෙන්ගුවින්ලා සමත්ය.

එනම් ‘ලේ ඥාති විවාහ’ වලින් වැලකීමයි. එකම පවුල් වල හෙවත් ලේ ඥාතීන් අතර විවාහයන්ගෙන් බිහිවන දරුවන් ආබාධවලට ලක්‌වීමට ඇති හැකියාව හේතුවෙන් විවාහයේදී හෙවත් සහකරුවකු තෝරාගැනීමේදී මිනිස්‌ සමාජයද දැඩි අවධානයක්‌ යොමු කරන යුගයකි මේ. එහෙත් ජාන හෝ පාරම්පරික රෝග පිළිබඳ කිසිදු විද්‍යාත්මක දැනුමක්‌ නොමැති නමුත් පෙන්ගුවින්ලාද මේ අවදානමෙන් මිදී ජීවත්වන බව පසුගියදා හෙළිවිය. ඒ සඳහා ඔවුන් යොදා ගන්නේද ගන්ධය ඉවකිරීමේ ක්‍රමයයි. එසේ ඉවකිරීමෙන් තම ළඟම නෑයන් හඳුනාගැනීමේ හැකියාව පෙන්ගුවින්ලාට ඇති අතර ඔවුන් කිසිවිටෙකත් ඥාතීත්වයේ සුවඳ ඇති සතෙක්‌ සමඟ ‘පවුල් කෑම’ නොකරන බව හෙළිවී ඇත.

Advertisements

Comments are closed.

%d bloggers like this: